අපගේ දැක්ම
"විශිෂ්ඨ මහජන සේවයක් තුලින් තිරසර සංවර්ධනයක්."අපගේ මෙහෙවර
" රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම "ආයතනයේ විකාශනය
පිහිටීම
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයෙහි වු මාතලේ දිස්ත්‍රික්කයේ නිරිතදිග කොටසේ මාතලේ කුරුණෑගල ගලේවෙල හා මාතලේ දඹුල්ල ප්‍රධාන මාර්ගය ඔස්සේ පිහිටා ඇති යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශසයට උතුරින් පල්ලේපොළ , නැගෙනහිරින් මාතලේ , දකුණින් උකුවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසස වලින් හා බටහිර දිශාවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය ද මායිම් කොටගනී.
යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නැගෙනහිර දෙසින් මකුළුස්ස , අස්ගිරිය හා රිටිගල යන කඳු වලින් ද බටහිර දෙසින් නකල්ස් කඳු පන්තියෙන් ද , මධ්‍ය කරගත් මාතලේ සිට විසිරි යන යටවත්ත පාවුල් කඳු වලින් ද ,දකුණින් ඇටිපොල හා ඕවිලිකන්ද යන කඳු වලින් ද , උතුරින් අම්බොක්ක කඳුවල දකුණු සීමාවෙන් ද වටවී ඇති අසිරිමත් පාරිසරික ස්වභාවයන් දක්වන ද්‍රෝණියක් වශයෙන් හැඳින්විය හැකිය.
මෙම ප්‍රදේශය මුහුඳු මට්ටමේ සිට මීටර් 400 – 1250 ත් අතර සාමාන්‍ය උෂ්ණත්වයක් සහිත වන අතර ඇටිපොළ කන්ඳ , මකුළුස්ස කන්ඳ ඇතුළුව, බ්‍රැන්ඩිගල , ඇතාගල , හුලංගල , නැව්ගල වැනි ශේෂ කඳු පන්තිය ප්‍රදේශයේ ස්වභාව සෞන්දර්යය තවදුරටත් ඔපවත් කරන්නට සමත්ව ඇත.
ජලවහන රටාව
නාලන්දා ඔය යටවත්ත ප්‍රදේශය වටකරගත් ප්‍රධානතම ජල මූලාශ්‍රය වන අතර පොල්වත්ත ඔය ඇතුළුව ඇතිපොළ කන්දෙන් සහ අනෙකුත් කඳු පන්තිවලින් ආරම්භ වන කුඩා දිය දහර කිහිපයක් වයඹ දෙසට ගලා බසී. ඒවා දැඳුරු ඔයේ ආරම්භක ජල උල්පත ලෙස සැලකේ.
දේශගුණික රටාව
දේශගුණික කලාප වශයෙන් සලකන විට යටවත්ත ප්‍රදේශය මැද රට අන්තර් මධ්‍යම කලාපයට හා මැදරට තෙත් කලාපයට අයත් වේ. මෙම ප්‍රදේශයේ සාමාන්‍ය වර්ෂාපතනය මිලි ලිටර් 160.8 ක් වන අතර සැප්තැම්බර් සිට ජනවාරි දක්වා කාලය තුළ ඊසාන දිග මෝසම් වැස්සෙන් ද , ජුනි සිට නිරිතදිග මෝසම් වැස්සෙන් ද ප්‍රදේශය පෝෂණය වේ. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 28 -36 ත් අතර පවති.
පාෂාණ හා ඛණිජ සම්පත්
ලා දුඹුරු ලොම් පස හා රතු දුඹුරු ලැටසොලික් පස ප්‍රදේශයේ ව්‍යාප්තව ඇත.යටවත්ත ප්‍රදේශයේ කඳු ශිඛර පද්ධතියේ අවසාධිත ගණයට අයත් පාෂාණ වලින් යුක්ත වන අතර මාතලාපිටිය ආශ්රිත ඇටිපොළ කඳුවැටියේ මයිකා නිධි දක්නට ඇත.
පරිපාලන ව්‍යුහය
1815න් පසු කන්ද උඩරට රාජධානියේ මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ උතුර , දකුණ හා නැගෙනහිර වශයෙන් ප්‍රධාන මුලාදෑනි කොට්ඨාස තුනකට බෙදා දී තිබූ අතර එයින් මාතලේ දකුණ කොට්ඨාසයට යටවත්ත ඇතුළත් විය. 1955 සිට මාතලේ වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් ලෙසට ක්‍රියාත්මක විමේ දි යටවත්ත කොටස මාතලේ ප්‍රාදේශීය කොට්ඨාසයට අයත්ව තිබුන ද 1985 වර්ෂයේදි වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ලෙස හඳුන්වා දෙන ලදි.
යටවත්ත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ විශාලත්වය වර්ග කිලෝ මිටර් 65.7 කි. ගම්මාන 144කින් සැඳුම්ලත් ග්‍රාම නිලධාරි වසම් 56 කින් සමන්විත මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාලන කටයුතු යටවත්ත ප්‍රාදේශීය සභාව විසින් සිදු කෙරේ. කෘෂිකාර්මික හා ගොවිජන කටයුතු සඳහා යටවත්ත හා වාලවෙල යනුවෙන් ගොවිජන සංවර්ධන බල ප්‍රදේශ දෙකකට බෙදා වෙන්කර ඇත. පැරණි පරිපාලන බෙදීම් යටතේ අස්ගිරි කෝරළය ලෙස නම්කර තිබූ මෙම ප්‍රදේශය අස්ගිරි උඩසිය හා පල්ලේසිය යනුවෙන් පත්තු දෙකකට බෙදා වෙන්කර පවතිණි. දැනට ද කොට්ඨාසයේ උපත් ,විවාහ , මරණ ලියාපදිංචිය සිදුවන්නේ මෙම බෙදිම් වලට අනුකූලවයි.
ඓතිහාසික පසුබිම
යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඓතිහාසික පසුබිම ශ්‍රී මහ බෝධින් වහන්සේ ලංකාවට වැඩම කරන ලද යුගය දක්වා දිවයයි. මාතලේ කඩයිම් පොතේ දැක්වෙන ආකාරයට දීවිල්ල ග්‍රාමය ශ්‍රී මහ බෝධීය සමඟම මෙරටට පැමිණි ආර්යය ජනයා පදිංචි වූ ස්ථානයක් සේ සැලකෙන අතර, එම ජනාවාසයේ නායකත්වය රුවන් විල්ලියා විසින් දැරූ බව සඳහන් වේ. ජනශුන්යයව පැවති ප්‍රදේශ ජනාවාස වීමෙන් පසුව මුල් ග්‍රාමය යන අරුතින් "මුල්ගම" ලෙස හැඳින් වු බවත් පසුව ව්‍යවහරික පහසුව තකා "ගම්මුල්ල" බවට පත්වු බවත් ප්‍රකට මතයකි.
උඩගම බැලුම්ගල මතින් ඇදහැලෙන බිසෝ ඇල්ලට නොදුරින් වික්‍රමබාහු රජුගේ අන්ත:පුරයත් , මාලිගාවත් තිබුණ අතර රජු යුද්ධයෙන් පැරදුන බවට දැනගත් සාවදය තොරතුරක් මත ශෝකයටපත් බිසෝවරුන් 60 දෙනෙක් මෙම ඇල්ලෙන් පහලට පැන දිවිනසාගත් බව තවත් ප්‍රකට ජනප්රවාදයකි. එම නිසා එම ඇල්ල"බිසෝ ඇල්ල"නමින් ප්‍රසිද්ධ විය.
උරුලෑවත්ත රජමහා විහාරයේ වූ ලෙන් කර්මාන්තයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ නිර්මාණයක් ලෙස සඳහන් වන අතර තල්ගහගොඩ රජමහා විහාරයේ ලෙන් හා බෝධි රෝපණය දෙවනපෑතිස් රජු සමයේ සිදු වු බවට සාක්ෂි පවතී. ගම්මුල්ල , දිවිල්ල , කොස්ගල්ල ප්‍රදේශවල අම්බලම් කිහිපයක් ද ප්‍රදේශයේ ඓතිහාසිකත්වයට සාක්ෂි දරයි.
ශ්‍රී ලංකාවේ සිංහල ආණ්ඩුකාරධූරයට මෙන්ම ප්‍රථම ශ්‍රී ලංකා ජනාධිපති ධූරයට ද ශ්‍රීමත් විලියම්ගොපල්ලව සූරින්ගේ නිජ භුමිය වන්නේ ද යටවත්ත කොට්ඨාසයේ පිහිටි දූල්ලෑව නැමැති ගම් ප්රදේශයයි. එතුමා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ ද දූල්ලෑව මහ විද්‍යාලයෙන් බවද පැවසේ.
ඈත අතීතයේ සිටම මෙම කොට්ඨාසය කලා නිර්මාණ කටයුතුවලට ද විශේෂත්වයක් පෙන්වයි. ඒ අතර උණවේරුව අව් අතු සේසත් හා ලාක්ෂා කර්මාන්තය සුවිශේෂ ස්ථානයක් ගනී. ශ්‍රී මහා බෝධි ආගමනය සමඟ භාරතයෙන් ලංකාවට පැමිණි කර්මාන්ත අතුරින් එකක් ලෙස සැලකෙන මෙම කර්මාන්තයේ ආදිතමයන්ගේ ජනාවාසය උණවේරුව බවට ජනප්‍රවාදයක් පවතින අතර එම පරපුරෙන් පැවත එන පිරිස් දැනටත් සේසත් කර්මාන්තයේ නියැලි සිටී. ආලෝකගම හණ කර්මාන්තයට ද තල්ගහගොඩ ප්‍රදේශය මැටි කර්මාන්තයට ද සැලගම ලාක්ෂා කර්මාන්තයට ද දුල්ලෑව කම්මල් කර්මාන්තයට ද ප්‍රසිද්ධියක් උසුලයි. එලෙසින්ම යටවත්ත ප්‍රදේශය ඈත අතීතයේ සිටම උඩරට නැටුම් ශිල්පයට ප්‍රසිද්ධියක් උසුලන අතර දෙස් විදෙස් සුපතල ජනාධිපති සම්මාන වලින් පිදුම් ලද දක්ෂ නැටුම් ශිල්පීන් තල්ගහගොඩ ප්‍රදේශයේ වාසය කරයී. මෙබඳු පුරාවෘත්තයන් සමූහයකින් සුසැදි යටවත්ත ප්‍රදේශය ඓතිහාසික , ආගමික , අධ්‍යාපන හා සංස්කෘතික අතින් ඉමහත් වැදගත්කමක් උසුලන ප්‍රදේශයක් බව කිව හැකිය.
සිතියම්
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| අනු අංකය | නම | සිට | දක්වා |
| 01. | ටී.ජී.යූ.බී. තාඹුගල මයා | 1986.03 | 1987.06 |
| 02. | ආර්.ඒ. චන්ද්‍රෙස්කර මයා | 1987.07 | 1992.08 |
| 03. | කේ.ඩබ්. ගමගේ මයා | 1992.09 | 1993.12 |
| 04. | ඩී.එම්.ආර්.බී. දිසානායක මයා | 1994.01 | 1994.12 |
| 05. | පී.ඒ.ජී. ජයවර්ධන මයා | 1995.01 | 1996.12 |
| 06. | ඒ.පී.ඩබ්. ආරියවංශ මයා | 1997.01 | 1998.05 |
| 07. | පී.එල්. නන්දසිරි මයා | 1999.01 | 2006.03 |
| 08. | ඒ.එම්.ඩබ්.ඒ. අමුණුගම මයා | 2006.04 | 2007.03 |
| 09. | එස්. සේනානායක මයා | 2007.04 | 2007.08 |
| 10. | සිරිමෙවන් ධර්මසේන මයා | 2007.08 | 2010.09 |
| 11. | ජී.එච්.එම්.ඒ. ප්‍රේමසිංහ මයා | 2010.09 | 2011.04 |
| 12. | ඒ.එම්.ජේ.කේ.එන්. අධිකාරි මයා | 2011.04 | 2016.10 |
| 13. | ඩී.ආර්.කේ. හෙන්නායක මෙනවිය | 2016.12 | 2023.07 |
| 14. | එච්.එම්.එම්.සී.පී. හිඳගොඩ මිය | 2024.01 | 2025.08 |
| 15. | ඩබ්.එස්.පී. වික්‍රමආරච්චි මිය | 2025.10 | මේ දක්වා |
























